දැය යනු කුමක්ද?

Posted: February 8, 2011 in Uncategorized
රටේ ප්‍රදේශ ගණනාවකම ගංවතුරය. තව ප්‍රදේශ ගණනාවකම නායයෑම් සහ නාය යෑමේ අවදානම්ය. වාර්තා වන මරණ ගණන 11කි. ලක්ෂ දහතුනක් පමණ අවතැන්ය. පාසැල්, පාරවල්, වැඩබිම් වැසිලාය. ඇතැම් ප්‍රදේශ වල සල්ලි දීලාවත් ගන්න කිසිම බඩුවක් මුට්ටුවක් නැත. කර්මාන්ත ශාලා, සත්ව ගොවිපොළ සහ වගා බිම් ද යට වී පාළු වී ගොසින්ය.නිවාස දහස් ගණනින් අයිතිකරුවන්ට අහිමිව ගොසින්ය.
අවතැන් වූවන් රඳවා තිබෙන කඳවුරු වල ඉඩ කඩ මදිය. පහසුකම් අවමය. සනීපාරක්ෂාව අන්තිමය.
මේවිනාශය හමුවේ නිවාස අහිමි වූවන් වෙනුවෙන් ඉදිකිරීම් අමාත්‍යංශය හැටියට “අවශ්‍ය කරන මැදිහත් වීම කරන බවට” ඊයේ ඇමති විමල් වීරවංශ ප්‍රවෘත්ති සාකඡ්ඡාවක දී ප්‍රකාශ කළේය. එහෙත් ඒ මැදිහත් වීම කුමන ආකාරයේ එකක්දැයි ඔහු කීවේ නැත. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න වලට මැදිහත් වී කට ඉස්සර කරගැනීමෙන් එතුමා පාඩමක් ඉගෙනගෙන ඇතිවා සේය. ගෙවල් හදා දෙනවාද? අලුත්වැඩියා කරන්නට මුදල් දෙනවාද? කොච්චර දෙනවාද? කොච්චර කාලෙකින් දෙනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න රාශියක් මතු වුවද ඒවාට පිළිතුරු ඒ ප්‍රකාශයේ අන්තර්ගත නොවීය.
එහෙත් ඇමතිවරයා ඉල්ලීමක් කළේය. නිවාස අහිමි වූවන්ට ආධාර කිරීමට කැමති අයට අමුද්‍රව්‍ය ලබා දීමෙන් හෝ සෙවණ අරමුදලට මුදල් ලබා දීමෙන් ඊට දායක වීමට හැකි බැවින් ඒ පිළිබඳ උනන්දු වන ලෙසටයි. ඉල්ලීමත් හොඳය. ආධාර දීමත් හොඳය.
මේ දින වල  බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයක් පැවැත්වේ. රටේ එනම් මහජනතාවගේ සල්ලි දැවැන්ත පුමාණයක් මේ ප්‍රදර්ශනය වෙනුවෙන් වැය කරන්නට ඇත. මේ ප්‍රදර්ශනය සංවිධානය කරන කාලය අතරතුරත් මීට කලින් ගංවතුරින් ලක්ෂ දොළහක් පමණ අවතැන් වී සිටිහය. මේ ආකාරයට රටේ ජනතාව අනාත වී අන්ත අසරණභාවයකට වැටී සිටිද්දී ආණ්ඩුව දැයට කිරුළ පැළඳීමට මෙතරම් ජාතික ධනයක් කාබාසිනියා කරන්නේ ඇයිද යන්න අපට තේරුම්ගැනීම අපහසුය. අනෙක් අතට අපේ ජනතාවත් ඔනෑම අටමගලයක් දුවගෙන ගොස් නරඹන නිසා දැයට කිරුළ ප්‍රවේශපත් වෙළඳාමෙන් විශාල මුදලක් උපයාගන්වා ද ඇත. අඩුම තරමේ එම මුදල් වලින් කොටසක් හෝ ගංවතුරින් හා නායයෑම් වලින් විපතට පත් ජනතාවට සරණ පිණිස වෙන් කරන බව ප්‍රකාශ කිරීමටවත් ආණ්ඩුවට වගකීමක් නැද්ද?
රටේ ධනය තම ප්‍රදර්ශනකාමය වෙනුවෙන් නාස්ති කරමින් විපතය පත් වූවන්ට පිහිට වීමට ජනතාවගෙන් හිඟමන් යැදීම ආශ්චර්යයක්ද?
රටටම කෙළවී ඇති වෙලාවේ දැයට කිරුළ කියා මේ ඔටුනු පළඳවන්නට යන්නේ කාටද?
“දැය” කියන්නේ කාගේ හරි ඔළුවටද?

Leave a comment