නාන ගෙට වැද
දොර වසා
අගුළු ලාගෙන
තෘප්ත කූජන නෑසෙන්නට
දිය මලෙන්
දිය ඉහිරෙන්නට හැර
ස්වයංව මෝචනය කෙළෙමි
නිදහසේ
ආහ්ලාදය
එළියට විත් බලන විට
දොරකඩ ළඟ රැකවල් ලා
කඩු ගත් සිංහයන්
පොකට් ගහන ජනතාව
පගා ගහන ජනතාව
කෝච්චිවල බස්රථවල
හොරෙන් යනෙන ජනතාව
හොර බඩු විකුණන ජනතාව
හොඳ බඩු හංගන ජනතාව
කහ ඉර නොපෙනෙන ජනතාව
රෙඩ් ලයිට් නොතකන ජනතාව
ගසා කන ජනතාව හොරා කන ජනතාව
උද්ඝෝෂණ කර කර මාළුපාන් කන ජනතාව
පොලු මුගුරු අරගෙන ගුටි කෙළගත් ජනතාව
ස්වාධීන අධිකරණෙක පහස විඳින ජනතාව
අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් එක්විය. දැන් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් දක්වා රඳවා තබාගැනීමේ බලය පොලිසිය සතුය. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය ප්‍රකාශ කර සිටියේ මෙරට ජනතාව අපරාධකරුවන් පිළිබඳ විශාල බියකින් පසු වන නිසා එම බිය නැති කිරීමට මෙම සංශෝධනය හේතු වන බවයි. ජනතාවබියෙන් පෙළෙන බවනම් සැබෑය. එහෙත් අපරාධකරුවන්ට කිසි බියක් නැත. ඒ රටේ ඉහළම යාන්ත්‍රණයන් විසින් ඔවුන් ආරක්ෂා කරන බැවිනි. ජනතාව බියෙන් සිටිද්දී අපරාධකරුවන් නිදැල්ලේ සිටීම මෙම සංශෝධනයෙන් පිටුදැකිය හැකි වේද?
විවාදයේදී මතු වූ අනෙක් කාරණාවන් නම් අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට පැය විසි හතරක කාලයක් මදි බවත් හොඳින් කතා කළාට සැකකාරයෙකුගෙන් තොරතුරු ලබාගත නොහැකි බවත් මෙම නව පනත නිසා පොලිස් සේවය කාර්යක්ෂම වන බවත්ය. මෙතුවක් කල් වරෙන්තු ලත් අපරාධකරුවන් නිදැල්ලේ සරන්නේ පොලිස් සේවයේ අකාර්යක්ෂමතාවය නිසා බැව් සැබවි. එහෙත් මේ සංශෝධනය ඊට පිළියමක් වන්නේද?
දැන් මේ පනත ගෙන ආ සැණින් වරෙන්තු පිට සිටිමින් ස්වාධීන රූපවාහිනියේ සජීවීව වැඩසටහන් ඉදිරිපත් කරන සුධර්මන්ව අත්අඩංගුවට ගන්නවාද? දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මීනී මරන පාතාලයන් අල්ලා ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයේ පිළිතුරක් මේ තුළ තිබෙනවාද? නිස්කාරණේ නිර්දෝෂී දේශපාලන එදිරිවාදීන් අත්අඩංගුවට ගෙන උසාවි දමා බන්ධනාගාරගත කරන්නට පොලිසියට පැය විසිහතර මදි වී තිබුණාද?
සත්‍ය තත්ත්වය නම් මේ උත්සහ කරන්නේ දඩයම් බල්ලාගේ නිය උල් කිරීමටය. පොලිස් දෙපාර්තමේන්තුව ජනතාව ඉදිරියේ මේ තරම් කිච වන්නට සැලැස්වූ ආණ්ඩුවක් ඉතිහාසයේම නොවීය. ඉහළම සිට පහළම දක්වා විහිදුණු දේශපාලනඥයන්ගේ ජඩ දේශපාලන වුවමනාවන් සපුරාලීම සඳහා තොරතෝංචියක් නැතිව කඹුරන නින්දිත තත්ත්වයට වැටී ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ බලය නැංවීමෙන් ජනතාවට සහනයක් බලාපොරොත්තු විය හැකිද?
මෙරට පොලිසිය මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ චූන් චෑන් න්‍යායට අනුකූලවය. කඩේට පලයන් චූන් චෑන් කිවූ සැණින් කඩේ දුවති. හපා කන්නට උසි ගැන්වූ විට හපා කති. බුරන්නට කී විට මාධ්‍ය සාකච්ඡා කැඳවා බුරති. නිදන්නට කී විට ඇස් පනාපිට කුමන අපරාධයක් සිදු වුවත් නොදැක්කා සේ නිදති. කඳුළු ගෑස් ගැසිය යුතු උද්ඝෝෂණ සහ ආරක්ෂාව සැපයිය යුතු උද්ඝෝෂණ වෙන් වෙන්ව ගෙන නීති දෙකක් අපූරුවට ක්‍රියාත්මක කරති. මාධ්‍යවේදින්ට ඒ පිළිබඳ හේතු දක්වන්නට ගොස් හත්පොළේ ගා ගනිති. පැය විසි හතරේ රඳවාගැනීමේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැකකරුවන්ගේ ඇට කුඩු කරති. සමහර උන්ව මරති. පිස්සන්ට පවා පොලුවලින් ගසා මරති. මේ පැය 48ක රඳවාගැනීමේ කාලය ලබා දෙන්නේ මේ පොලිසියටය. බුදු සරණය.
NewsweekLastIssue
ලෝ සුපතල නිව්ස් වීක් (News Week) පුවත් සඟරාවේ අවසාන මුද්‍රිත කලාපය පසුගිය දෙසැම්බර් 31වැනිදා නිකුත් වූ බව නාලක ගුණවර්ධන රාවයට ලියා තිබුණේය. ඒ අනුව මින් මනතට නිව්ස් වීක් මුද්‍රණය වන්නේ නැත. එහෙත් එය අන්තර්ජාල පුවත් සඟරාවක් වශයෙන් අංකිත තාක්ෂණයට රූපාන්තරණය වන්නේය. සඟරාව සිය අවසාන වෙළුමේ දක්වා තිබුණු පරිදි එය අවසානයක් නොව නැවුම් ඇරඹුමකි. 1933 වසරේ පෙබරවාරි 17වැනිදා ආරම්භ කෙරුණු නිව්ස් වීක් පුවත් සඟරාව, ලොව වැඩිම අලෙවියක් ඇති පුවත් සඟරාව වන TIME සඟරාවේ ප්‍රධාන තරඟකරු විය. එහෙත් අවසන් කාලයේ විශාල වශයෙන් පාඩු ලබන්නට වූ නිසා සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ තවදුරටත් රැඳී ඉන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට සිදු විය.
තොරතුරු සන්නිවේදනය ඩිජිටල්කරණය වී ඇති තරම යළිත් වරක් ලොවට හඬගා කියන සිදුවීමක් ලෙස මෙය හඳුනාගත හැක. ලෝකයේ ප්‍රවෘත්ති මාධ්‍යයන් නවීකරණය වෙමින් පවතින මොහොතක අප කරමින් සිටින්නේ කුමක්ද? තොරතුරු සන්නිවේදනයට සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතියට පැරණි ලෝකය විසින් පනවන ලද සියලු බාධක බිඳ දමමින් තොරතුරු තාක්ෂණය පෙරට යද්දී අප කරමින් සිටින්නේ කුමක්ද?
අප උත්සහ කරමින් සිටින්නේ Google තහනම් කරන්නටය. ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය කරන්නටය. අන්තර්ජාලයේ ඵලදායී උපයෝගිතාවයන් සඟවා එය මෙරට හෙළ බොදු සංස්කෘතිය විනාශ කරන්නට කුමන්ත්‍රණ දියත් වන අවකාශයක් වශයෙන් හංවඩු ගසන්නටය.
ලොව පුරා තොරතුරු සහ දැනුම හුවමාරුවට ඉඩකඩ විවෘතව ඇති නිදහස් අවකාශයක් අපි අපගේ දූපත් මානසිකත්වයට පින් සිදු වන්නට ප්‍රතික්ෂේප කරන්නට උත්සහ කරමින් සිටින ජාතියක් වන්නෙමු. සැබැවින්ම, තොරතුරු හා චින්තන අවකාශය පටු කිරීම තුළින් ජනතාව තමාට රිසි අධිපති මතවාදයක සිර කර තබාගැනීමට පීඩක පාලකයන් දරන උත්සහය මේ තුළ මොනවට පිළිබිඹු වෙයි. එහෙත් රට තුළ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 10% සිට 20% දක්වා වැඩි වන්නට ගත වූයේ වසර 5ක පමණ කෙටි කාලයක් බවද අප සිහි තබාගත යුතුය. රටක් වශයෙන් අප කැමති වුවත් අකමැති වුවත් ඩිජිටල් තාක්ෂණය විසින් තොරතුරු ලෝකය එක මිටට හකුළුවා ඇති බව අපට පිළිගැනීමට සිදු වේ.
විශේෂයෙන්ම සමාජ දේශපාලන සංසිද්ධීන් හිදී තව දුරටත් ලෝකයාගේ ඇස් වසා කටයුතු කරන්නට කිසිදු රාජ්‍යයකට නොහැකිය. පාලකයන්ට හිතැති අධිපති මතවාදයම වමාරා කමින්, ජනතාව මුලා කරනසුලු ආලවට්ටම් දමමින් සැබෑ තොරතුරු වසංගන තුට්ටු දෙකේ පත්තරකාරයන්ගේ ආධිපත්‍ය බිඳ වැටෙන යුගය වැඩි ඈතක විය නොහැකිය. සත්‍යයෙහි ලොල් පාඨකයාට විවිධ පුවත් මූලාශ්‍ර තුලනාත්මකව සංසන්ධනය කර බලා තොරතුරු පසක් කරගැනීමේ අවකාශය පාලකයන් සහ ආණ්ඩු ගැති ඊනියා ජනමාධ්‍යකරුවන් එක් වී කොතෙක් පටු කරන්නට තැත් කළත් නවීන තාක්ෂණය එකී සාධාරණ අවකාශය ජනතාවට උදා කර දෙනවා ඇත.
තොරතුරු අවකාශය වසංගමින් ජනතාව මුලා කරන ඊනියා මාධ්‍යවේදීන් කත් අදින්නෙ රටත් සමාජයත් පෙරට ගෙන යාමට නොව ආපස්සට ඇදගෙන යාමට බව සිහි තබාගත යුතුය. මන්දයත් ජනසමාජයක් පෙරට යා යුත්තේ ඉදිරිය බලාගෙන වන අතර පසුපස බැලිය යුත්තේ පැති කණ්නාඩිවලින් පමණක් වන හෙයිනි. ඊට විකල්පව අප කරමින් සිටින්නේ සම්පූර්ණයෙන් පසුපස බලාගෙන ඉදිරියට යෑමට තැත් කිරීමයි.

Image

මොහාන් පීරිස් මහතාට ලිපියක්.
මිනිසා තමාගේ ආරක්ෂාව පිණිස සහ දඩයම පිණිස බල්ලන් ඇති කරන්නට පටන් ගත්තේය. කලක් ගත වද්දී බල්ලා මිනිසාගේ සුරතලා බවට පත්විය. බල්ලා මිනිසා ළඟ කොතරම් සුරතල් වුනාද යත් බල්ලාට බලුකම අමතක වී ගියේය. බලුකම අමතකව ගොස් තොරතෝංචියක් නැතිව නගුට වනන්නටද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නටද බල්ලා පුරුදු විය. නගුට වනන්නට වනන්නට ලැබෙන සැලකුම් ද වැඩි වන්නට විය. එහෙත් බැරි වෙලාවත් බල්ලාට සිය බලුකම මතක් වී බුරන්නට පටන් ගතහොත් බල්ලාට සබ්බුව ලැබෙන්නේය. කූඩු කෙරෙන්නේය.
බල්ලන්ට බලුකම අමතක වූවා සේම තමාට තමා අමතකව ගොස් ගැතිකම් කරන මිනිසුන්ද අප දැක ඇත්තෙමු. එවැනි මිනිසුන් හදිසියේ නින්දෙන් අවදි වී සිය අභිමානය රැකගන්නට මොරදෙන අයුරුද අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ ඉරණම ද බල්ලාගේ සේම කණගාටුදායක වන සැටිද අපි දැක ඇත්තෙමු.
 වහෙන් ඔරෝ ඉවරය. දැන් ඔහෙන් වරෝය.
සරත් නන්ද සිල්වාගේ ධුර කාලයේ සිටම අධිකරණය සිය ස්වාධීනත්වය පාවා දෙමින් සිටියේය. සරත් නන්දගේ නගුට වැනිල්ලේ හොඳකම නිසාම රනිල්ගේ ආණ්ඩුව ඔහුට එරෙහිව ගෙනා දෝෂාභියෝගයෙන් ඔහු ගලවාගන්නට එවක ජනාධිපතිනිය කටයුතු කළාය. ඉතාම නිර්ලජ්ජිත ආකාරයෙන් අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන්නට සහ පාලකයන්ගේ වුවමනාවන් සපුරන්නට කටයුතු කරනු අපි දැක ඇත්තෙමු.
 ශිරානි අංශුමාලාගේ ධුර කාලය ද මෙවැනි නගුට වැනීම්වලින් තොර නොවීය. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වන්නට ඉඩ හරිමින් 18වැනි සංශෝධනය නීත්‍යානුකූල බවට අර්ථ නිරූපනය කළාය. දෙටු පුතුන්ගේ දිව්රුම් දීම ඇය ඉදිරියේ පද්ධතියට හොරා සිදු වන්නට ඉඩ හැරියාය. වෘත්තිය සදාචාරය ගැන නොසිතා යුවති-පති යුවළම රජයේ ප්‍රධාන තනතුරු භාරගත්තෝය. මේ ඕනෑම එකක් දෝෂාභියෝගයකට සුදුසු තත්ත්වයන් සැපයූවද ඒ එකක්වත් දෝෂාභියෝගයේ අඩංගු වූයේ නැත.
 දිවි නැගුම පනතට ඇය එරෙහි වන්නේ ඇය සැබැවින් බලය බෙදාහැරීමක් ගැන විශ්වාසය තැබූ නිසා විය යුතුය. චන්ද්‍රිකාගේ පැකේජය සකස් කිරීමේදී ජී එල් සමග එක්ව කටයුතු කරන්නේ ඇයයි. බල්ලාට හදිසියේ බලුකම මතක් වන්නා සේ ඇයට ඇගේ වෘත්තිය වගකීම් සහ පුරුෂාර්ථයන් හදිසියේ සිහිපත් වන්නට ඇත. එතැන් පටන් ඇය නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, සංවරණය හා තුලනය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ මූලික ලක්ෂණයන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තාය. නගුට වැනීම අවසන් කළාය. ප්‍රතිඵල සෝචනීය විය.
දැන් මම කෙළින්ම ඔබතුමා අමතමි.
ඔබතුමා නීතිපති වශයෙන් කටයුතු කරද්දී ක්‍රියා කළ ආකාරය හොඳටම හොඳය. ආණ්ඩුවට ඕන වුනාම නුඩු දාන්නටත් ඕන නැති වුනාම නඩු ඉල්ලා අස් කරගන්නටත් සිදු වීම ඉවසා වදාළ ආකාරය විශිෂ්ටය. ඔබ නියම ක්‍රමය දන්නේ යැයි මට සිතේ. ඔබට චිරාත් කාලයක් වැජඹීමට හැකි වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඔබට එරෙහිව එන අල්ලස් චෝදනා ගැන මොහොතකටවත් බිය නොවන්න. ඔය වේගෙටම නගුට වනාගෙන ගියොත් ඉහළම කට්ටිය ඔබ වෙනුවෙන් අල්ලස් කොමිසමම අතුගා දමන්නට වුනත් ඉඩ ඇත.
ඉතින් ඔබ මෙතෙක් කල් කළාක් මෙන් ඉදිරියටත් කටයුතු කරන්නට ඉඩ ලැබේවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබ උගෙන ඇති මාහැඟි සංකල්ප හෝ ලැජ්ජාව හෝ ආත්මානුකම්පාව හෝ ඔබේ නගුටට හරස් නොවේවා. ඔබේ නගුට සදා වැනේවා! සදා දිනේවා!

සංදර්ශන

Posted: May 4, 2011 in Uncategorized
ක්‍රිකට් කියන්නේ මාර වැඩක්ය. එහෙම කියන්නේ ක්‍රිකට් එක්ක ඔරොප්පුවකට නෙමේය. මම ද ක්‍රිකට් බලන්නෙමිය. හැබැයි ඒ අය කරන්නේ රස්සාවය. අපි නිවාඩු දමාගෙන ඒ අය රස්සාව කරන හැටි බලා සිටිමුය. හුරේ දමමුය. කොඩි වනමුය. මුහුණු පාට කරමුය. ගිරිය කඩාගෙන කෑ ගසමුය.
ඒක ඒවැඩේ හැටිය. අප රස්සාව කරන හැටි බලන්නට කිසිවකුත් ටිකට් අරන් එන්නේ නැත. ඒ අපේ වැඩ වල හැටිය. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් වුවත් ව්‍යාපාරයක් ලෙස එය වැටෙන්නේ එන්ටටේනින් බිස්නස් ගණයටය. ගායකයන් සින්දු කියනවා බලන්නට මිනිස්සු ටිකට් අරන් යති. සින්දු කීම ගායකයාගේ රස්සාවය. එය අසන්නාට, නරඹන්නාට එන්ටටේන්මන්ට් එකකි. රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි, නැටුම් ආදි සියල්ලත් ඒ ආකාරය.
එන්ටටෙන්මන්ට් බිස්නස් යන්න නිවැරදිව හඳුනාගැනීම පිණිස ඉතා සරල නිර්ණායකයක් භාවිතා‍ කළ හැක. එන්ටටේන්මන්ට් වලදී නරඹන්නා සක්‍රිය නොවේ. ඔහු අක්‍රියය. ඔහුට හුරේ දැමිය හැක. අගය කළ හැක. ප්‍රසාදය ඵල කළ හැක. එහෙත් ප්‍රධාන ක්‍රියාදමය තුළ ඔහුට ඉඩක් නැත. විනෝදය පිණිස සක්‍රියව ඉටු කරන දේ recreation ගණයට වැටේ. ක්‍රීඩා කිරීමේ ආශාවෙන් මෙහෙයැවී ක්‍රීඩාවක නිරත වීම මෙයට උදාහරණයකි. එවිට   ක්‍රීඩාව නැරඹීම හා ක්‍රීඩාවේ නිරත වීම එකම කාසියක දෙපැත්ත බවට පත් වේ. ක්‍රීඩාවේ නිරත වීම recreation වන අතර ක්‍රීඩාව නැරඹීම Entertainment වේ.
නූතනයේ පුළුල්ව ඇති මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩා කිරීම හා ක්‍රීඩාව නැරඹීම වඩාත් සංකීර්ණ තලයකට එසවී ඇති බව පෙනේ. එහිදී ක්‍රීඩාවෙහි නිරත වන්නා නරඹන්නා තමා දෙස බලා සිටිනා බව දන්නා අතර නරඹන්නා ද තමාගේ නැරඹීම පිළිබඳ ක්‍රීඩකයා දන්නා බව දනියි. එසේම ක්‍රීඩා පිටියට ගොස් තරග නරඹන ක්‍රීඩා ලෝලියා ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රූපවාහිනියෙන් තමා දෙස ද බලා සිටින බව උපකල්පනය කරයි. මෙකී සංකීර්ණ මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩාවේ නිරත වීම ප්‍රදර්ශනකාමය බවටත් ක්‍රීඩාව නැරඹීම නැරඹුම්කාමය බවටත් රූපාන්තරණය වී ඇත. ඉනුත් නොනැවතී නැරඹුම්කාමී නරඹන්නාට ප්‍රදර්ශනකාමී වීමට ද ඉඩක් සලසා දී ඇත. ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවාට අමතරව පිටිය තුළ තවත් බොහෝ දේ සිදු කරන්නේ එබැවිනි. උදාහරණ අවශ්‍යනම් පහත පින්තූර දෙස බැලිය හැක.
මේ ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරනු නරඹා ඇත්නම් ඉහත දැක්වෙන නිරූපනයන් ඔබ දැක ඇතුවාට සැක නැත.මෙවන් නිරූපනයන් හඳුන්වනුයේ Signature Moves යනුවෙනි. මේ නිරූපනයන් තනිකරම කැමරාව වෙනුවෙනි.
දැන් මේ නරඹන්නන් දෙස බලන්න. ඔවුන් මේ විදියට සැරසී ක්‍රිකට් තරග නරඹන්නට එන්නේ ඇයි. ජීවිතේ කිසිම දවසක ඔවුන් මේ අයරින් මහමගනම් ඇවිද නොයනවා ඇත. එසේම ක්‍රිකට් තරගයක් නරඹන අතරතුර තමා දෙසට කැමරාව යොමු වන සෑම මොහොතකම නරඹන්නන් උඩ පනිමින් කෑගස්නනේ ඇයි? ක්‍රිකට් විචාරකයන්නම් මෙය ක්‍රීඩාවේ චමත්කාරය ලෙස හඳුන්වනවා නොඅනුමානය. එහෙත් මින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය විසින් අප හට තනා දී ඇති අවකාශයේ විශාලත්වය මිස අන් කවරක්ද? ඒ මාධ්‍ය අවකාශයේ කැපී පෙනෙන හරඹකරුවකු වීමට අප තුළ නලියන ආශාව මිස අන් කවරක්ද?
ඉහත ලියන ලද සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රූපවාහිනි මාධ්‍ය මැදිහත් වී ඇති සියලු ක්‍රීඩාවන්ට පොදුය. පුළුල් අර්ථයෙන් ගතහොත් ක්‍රීඩා කිරීම, ක්‍රීඩා නැරඹීම පමණක් නොව අපගේ බොහෝ ක්‍රියාවන් මාධ්‍යමය මැදිහත් වීම නිසා නාට්‍යකරණය වී ඇත.
නැවත ලියන්නට සිදුව ඇත. කොතෙක් නොලියන්නට සිතුවද නැවත නැවත ලියන්නටම සිදු වෙයි. නොලියා ඉන්නට සිතෙන එක් ප්‍රධාන හේතුවකි. ලියන්නට ලියන්නට සිදු වන්නේ එයයි. එනම් උඩ ඉන්නා අය සඳට උපමා වී ලියන අප බල්ලන්ට උපමා වීමයි. බල්ලෝ බුරති. සඳ බබළයි. අන්තිමට අජිත් කුමාරසිරි ගීතයෙන් කිව්වා සේම කෙළවෙන්නේද අපටමය.
උඩ ඉන්නා අය දෙවිවරු කිව්වා
පහළ ඉන්න අය කළවම් වෙනවා
ජීවන වියදම දෙවිවරු සොයලා අහසට නැගුණා
අසල්වැසියො සමහර මගෙ යාළුවො පොළව යට ගියා
ඊයෙ මැයි 3වැනිදාය. එය ලෝකයේ විශේෂ දිනයක් බව බොහෝ දෙනා නොදන්නවා විය හැක. මැයි 1වැනිදා ගැනනම් හැමෝම දන්නේය. එය “ඇන්ටි මූන්” දිනයයි. ඊයේ එනම් මැයි 3වැනිදා යනු නිදහස් මාධ්‍ය උදෙසා වන ලෝක දිනයයි (World Press Freedom Day).   1991 එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී මැයි 3වැනිදා මෙලෙස නම් කරන ලදී. World Press Freedom Day 2011 වෙනුවෙන් සකසා ඇති වෙබ් අඩවියේ පළමු පිටුවේම ඝාතනය වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග පිළිබඳවද විශේෂ සටහනක් තබා ඇත. (http://wpfd2011.org/)    එහෙත් මෙරට කිසිදු ජාතික පුවත්පතක ලසන්ත ගැන, ප්‍රගීත් ගැන සහ තවත් මිය ගිය, අතුරුදහන් වූ, රට හැර ගිය මාධ්‍යවේදීන් ගැන තබා මාධ්‍ය නිදහස උදෙසා වූ ලෝක දිනය ගැනවත් කිසිදු සටහනක් තබා තිබුණේ නැත. ‘රාවය’ පුවත් පතේ නාලක ගුණවර්ධනගේ කොළමේ පමණක් මේ පිළිබඳ සටහන් කොට තිබිණි.
මෙය පැහැදිලිවම හිරිකිත තත්වයකි. සිය අයිතිවාසිකම් පිළිබඳ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ, මාධ්‍ය නිදහස පිළිබඳ කතා කිරීමට තබා මාධ්‍ය නිදහස උදෙසා ලෝක දිනයක් ඇති බව හෝ සටහන් කරන්නට කිසිම මාධ්‍යවේදියකුට කොන්දක් නැති විය. එක්සත් ජාතීන්ගේ මහලේකම්ට එරෙහිව රෙද්ද උස්සාගෙන නටන මේ මොහොතේ එක්සත් ජාතීන් විසින් නම් කළ දිනයක් පිළිබඳ ලියන්නට යෑම නිකං තියෙන පශ්චාත් භාගයේ ටිංකිරි උලාගැනීමක් ලෙස මේ නිවට බයාදු පත්තර කතුවරු සිතන්නට ඇත. නැත්තං දැන් අපේ රටේ මාධ්‍ය අවකාශය ෆුල්ම නිදහස් කියා හිතුවා වන්නටත් බැරි නැත. ආණ්ඩුවට කඩේ නොයන බොහෝ මාධ්‍යවේදීන් අතුරුදහන් කොට හෝ ඝාතනය කොට හෝ නිහඬ කොට හෝ මිල දී ගෙන හෝ ඇති නිසා දැන් ඉතින් මේ ලැජ්ජ නැති ලියන අප්පුලාට නිදහසේ ආණ්ඩුවට කඩේ යාමට හැකි වී තිබීමත් ලොකු නිදහසක් සේ දැනෙනවා ඇත.
අවසාන වශයෙන් මතකයට එන්නේ ඇම්ඩන්ගේ කතාවක අවසානයයි. මෙරටට ගැළපෙන්නට එයද මදක් වෙනස් කළ යුතුය.
ආණ්ඩුව ජනතාවට බිම දාගෙන පහර දෙද්දී ජනමාධය මර නින්දේ….!