Posts Tagged ‘ජනතාව’

පොකට් ගහන ජනතාව
පගා ගහන ජනතාව
කෝච්චිවල බස්රථවල
හොරෙන් යනෙන ජනතාව
හොර බඩු විකුණන ජනතාව
හොඳ බඩු හංගන ජනතාව
කහ ඉර නොපෙනෙන ජනතාව
රෙඩ් ලයිට් නොතකන ජනතාව
ගසා කන ජනතාව හොරා කන ජනතාව
උද්ඝෝෂණ කර කර මාළුපාන් කන ජනතාව
පොලු මුගුරු අරගෙන ගුටි කෙළගත් ජනතාව
ස්වාධීන අධිකරණෙක පහස විඳින ජනතාව
ඊජිප්තු උප ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ ප්‍රකාශයට අනුව හොස්නි මුබාරක් ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. දින 18ක් තිස්සේ වීදි බැස විරෝධතාවන්හි නිරත වූ ජනතාව අවසානයේ සිය ඉලක්කයට ළගා වී ඇත.
දැන්මම ඊළඟට පත් වන නායකයා කව්ද? ඔහු මුබාරක්ට වැඩිය හොඳ වේද? නරක් වේද? ආදිය කතා කිරීමට කලින් වැඩිය. එහෙත් ජනතා නැගිටීම හමුවේ ජනතා පැතුම ඉටු වී ඇත. අපේ රටේත් ජනතාවක් හිටියානම් මෙවැනි සිදුවීම් බොහෝ ගණනක් මෙරටේත් සිදු වීමට ඕනෑ තරම් අවස්ථා ඇති විය.
එහෙත් අවාසනාවට මෙහේ ජනතාවක් නැත. මෙහේ ඉන්නේ පාක්ෂිකයන් පමණකි. තමන්ට පරම්පරාවෙන්ම උරුම වුණායයි සිතන පක්ෂයක් බදාගෙන එහි නායකයන් කියන ඕනෑම බොරුවක් ඉස්මුදුනින් ගෙන ගොනාට ඇඳගෙන කඩේ යන්නටත් ඕනෑම මොහොතක ඔවුන් වෙනුවෙන් පශ්චාත් භාගය දෙන්නටත් සූදානම් ජනතාවකි මෙහි ඉන්නේ. ඉතිං ආණ්ඩුවට විරුද්ධව සැබෑම විරෝධතාවක් පැනනැගුණද ආණ්ඩු හිතවාදීන් වි‍රෝධතාකරුවන් පතුරු ගසා බැරිනම් උන්ව සල්ලි වලට අරගෙන හෝ වැඩේ අල කොට ආණ්ඩුව බේරාගන්නවා ඇත. ජනතාවක් හා පාක්ෂිකයන් අතර වෙනස එයයි. ජනතාව කිසිවකු නොසිතූ මොහොතක නැගිටීමට ඉඩ ඇති අතර පාක්ෂිකයන් ඕනෑම මොහොතක වලිගය වන වනා කඩේ දුවන්නට සූදානම්ය.
ජනතාවක් එකාවන්ව නැගී සිටි විට ඔවුන්ගේ පැතුම් ඉටු කිරීමට පාලකයන්ට අකමැත්තෙන් වුව ද සිදු වේ. එහෙත් රටක පාක්ෂිකයන් පමණක් සිටින විට පාලකයන්ගේ පැතුම ජනතා පැතුම ලෙස දිගින් දිගටම වරනැගීමෙන් එය ජනතා පැතුම ලෙස ස්ථාපිත වේ. උදාහරණයක් ලෙස ලෝක කුසලානය සඳහා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නට පෙර සනත් ජයසූරිය මන්ත්‍රීවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයක් දැක්විය හැක.
“මම ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා දැකීම ජනතාවගේ පැතුමක්”
මොන අපබ්‍රංස කතාවක්ද ඒ? ඒක ජනතා පැතුමක්ද නැත්නම් ජයසූරියගේ පැතුමක්ද?
තවත් උදාහරණ අවශ්‍යනම් නාමල් දෙස බලන්න. රජතුමාගේ පැතුම තමාගෙන් පසුව කිරුළ නාමල්ට පැළඳවීමයි. එහෙත් එය වරනැගෙන්නේ ජනතාවගේ පැතුමක් ලෙසිනි.
පාක්ෂිකයන් හැමදාමත් පාලකයන්ට හුරේ දමමින් සිටින අතර ක්‍රමය වෙනස් කිරීමේ ශක්‍යතාවය තිබෙන්නේ ජනතාවකට පමණි. එහි ප්‍රතිඵල විවාදාපන්න විය හැක. සියලු වෙනස්කම් එසේය.
කෙසේ වෙතත් ඊජිප්තුවේ ජනතාවක් සිටින බව ඔවුහු ඔප්පු කළහ.