NewsweekLastIssue
ලෝ සුපතල නිව්ස් වීක් (News Week) පුවත් සඟරාවේ අවසාන මුද්‍රිත කලාපය පසුගිය දෙසැම්බර් 31වැනිදා නිකුත් වූ බව නාලක ගුණවර්ධන රාවයට ලියා තිබුණේය. ඒ අනුව මින් මනතට නිව්ස් වීක් මුද්‍රණය වන්නේ නැත. එහෙත් එය අන්තර්ජාල පුවත් සඟරාවක් වශයෙන් අංකිත තාක්ෂණයට රූපාන්තරණය වන්නේය. සඟරාව සිය අවසාන වෙළුමේ දක්වා තිබුණු පරිදි එය අවසානයක් නොව නැවුම් ඇරඹුමකි. 1933 වසරේ පෙබරවාරි 17වැනිදා ආරම්භ කෙරුණු නිව්ස් වීක් පුවත් සඟරාව, ලොව වැඩිම අලෙවියක් ඇති පුවත් සඟරාව වන TIME සඟරාවේ ප්‍රධාන තරඟකරු විය. එහෙත් අවසන් කාලයේ විශාල වශයෙන් පාඩු ලබන්නට වූ නිසා සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ තවදුරටත් රැඳී ඉන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට සිදු විය.
තොරතුරු සන්නිවේදනය ඩිජිටල්කරණය වී ඇති තරම යළිත් වරක් ලොවට හඬගා කියන සිදුවීමක් ලෙස මෙය හඳුනාගත හැක. ලෝකයේ ප්‍රවෘත්ති මාධ්‍යයන් නවීකරණය වෙමින් පවතින මොහොතක අප කරමින් සිටින්නේ කුමක්ද? තොරතුරු සන්නිවේදනයට සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතියට පැරණි ලෝකය විසින් පනවන ලද සියලු බාධක බිඳ දමමින් තොරතුරු තාක්ෂණය පෙරට යද්දී අප කරමින් සිටින්නේ කුමක්ද?
අප උත්සහ කරමින් සිටින්නේ Google තහනම් කරන්නටය. ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය කරන්නටය. අන්තර්ජාලයේ ඵලදායී උපයෝගිතාවයන් සඟවා එය මෙරට හෙළ බොදු සංස්කෘතිය විනාශ කරන්නට කුමන්ත්‍රණ දියත් වන අවකාශයක් වශයෙන් හංවඩු ගසන්නටය.
ලොව පුරා තොරතුරු සහ දැනුම හුවමාරුවට ඉඩකඩ විවෘතව ඇති නිදහස් අවකාශයක් අපි අපගේ දූපත් මානසිකත්වයට පින් සිදු වන්නට ප්‍රතික්ෂේප කරන්නට උත්සහ කරමින් සිටින ජාතියක් වන්නෙමු. සැබැවින්ම, තොරතුරු හා චින්තන අවකාශය පටු කිරීම තුළින් ජනතාව තමාට රිසි අධිපති මතවාදයක සිර කර තබාගැනීමට පීඩක පාලකයන් දරන උත්සහය මේ තුළ මොනවට පිළිබිඹු වෙයි. එහෙත් රට තුළ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 10% සිට 20% දක්වා වැඩි වන්නට ගත වූයේ වසර 5ක පමණ කෙටි කාලයක් බවද අප සිහි තබාගත යුතුය. රටක් වශයෙන් අප කැමති වුවත් අකමැති වුවත් ඩිජිටල් තාක්ෂණය විසින් තොරතුරු ලෝකය එක මිටට හකුළුවා ඇති බව අපට පිළිගැනීමට සිදු වේ.
විශේෂයෙන්ම සමාජ දේශපාලන සංසිද්ධීන් හිදී තව දුරටත් ලෝකයාගේ ඇස් වසා කටයුතු කරන්නට කිසිදු රාජ්‍යයකට නොහැකිය. පාලකයන්ට හිතැති අධිපති මතවාදයම වමාරා කමින්, ජනතාව මුලා කරනසුලු ආලවට්ටම් දමමින් සැබෑ තොරතුරු වසංගන තුට්ටු දෙකේ පත්තරකාරයන්ගේ ආධිපත්‍ය බිඳ වැටෙන යුගය වැඩි ඈතක විය නොහැකිය. සත්‍යයෙහි ලොල් පාඨකයාට විවිධ පුවත් මූලාශ්‍ර තුලනාත්මකව සංසන්ධනය කර බලා තොරතුරු පසක් කරගැනීමේ අවකාශය පාලකයන් සහ ආණ්ඩු ගැති ඊනියා ජනමාධ්‍යකරුවන් එක් වී කොතෙක් පටු කරන්නට තැත් කළත් නවීන තාක්ෂණය එකී සාධාරණ අවකාශය ජනතාවට උදා කර දෙනවා ඇත.
තොරතුරු අවකාශය වසංගමින් ජනතාව මුලා කරන ඊනියා මාධ්‍යවේදීන් කත් අදින්නෙ රටත් සමාජයත් පෙරට ගෙන යාමට නොව ආපස්සට ඇදගෙන යාමට බව සිහි තබාගත යුතුය. මන්දයත් ජනසමාජයක් පෙරට යා යුත්තේ ඉදිරිය බලාගෙන වන අතර පසුපස බැලිය යුත්තේ පැති කණ්නාඩිවලින් පමණක් වන හෙයිනි. ඊට විකල්පව අප කරමින් සිටින්නේ සම්පූර්ණයෙන් පසුපස බලාගෙන ඉදිරියට යෑමට තැත් කිරීමයි.

Leave a comment