සංදර්ශන

Posted: May 4, 2011 in Uncategorized
ක්‍රිකට් කියන්නේ මාර වැඩක්ය. එහෙම කියන්නේ ක්‍රිකට් එක්ක ඔරොප්පුවකට නෙමේය. මම ද ක්‍රිකට් බලන්නෙමිය. හැබැයි ඒ අය කරන්නේ රස්සාවය. අපි නිවාඩු දමාගෙන ඒ අය රස්සාව කරන හැටි බලා සිටිමුය. හුරේ දමමුය. කොඩි වනමුය. මුහුණු පාට කරමුය. ගිරිය කඩාගෙන කෑ ගසමුය.
ඒක ඒවැඩේ හැටිය. අප රස්සාව කරන හැටි බලන්නට කිසිවකුත් ටිකට් අරන් එන්නේ නැත. ඒ අපේ වැඩ වල හැටිය. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් වුවත් ව්‍යාපාරයක් ලෙස එය වැටෙන්නේ එන්ටටේනින් බිස්නස් ගණයටය. ගායකයන් සින්දු කියනවා බලන්නට මිනිස්සු ටිකට් අරන් යති. සින්දු කීම ගායකයාගේ රස්සාවය. එය අසන්නාට, නරඹන්නාට එන්ටටේන්මන්ට් එකකි. රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි, නැටුම් ආදි සියල්ලත් ඒ ආකාරය.
එන්ටටෙන්මන්ට් බිස්නස් යන්න නිවැරදිව හඳුනාගැනීම පිණිස ඉතා සරල නිර්ණායකයක් භාවිතා‍ කළ හැක. එන්ටටේන්මන්ට් වලදී නරඹන්නා සක්‍රිය නොවේ. ඔහු අක්‍රියය. ඔහුට හුරේ දැමිය හැක. අගය කළ හැක. ප්‍රසාදය ඵල කළ හැක. එහෙත් ප්‍රධාන ක්‍රියාදමය තුළ ඔහුට ඉඩක් නැත. විනෝදය පිණිස සක්‍රියව ඉටු කරන දේ recreation ගණයට වැටේ. ක්‍රීඩා කිරීමේ ආශාවෙන් මෙහෙයැවී ක්‍රීඩාවක නිරත වීම මෙයට උදාහරණයකි. එවිට   ක්‍රීඩාව නැරඹීම හා ක්‍රීඩාවේ නිරත වීම එකම කාසියක දෙපැත්ත බවට පත් වේ. ක්‍රීඩාවේ නිරත වීම recreation වන අතර ක්‍රීඩාව නැරඹීම Entertainment වේ.
නූතනයේ පුළුල්ව ඇති මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩා කිරීම හා ක්‍රීඩාව නැරඹීම වඩාත් සංකීර්ණ තලයකට එසවී ඇති බව පෙනේ. එහිදී ක්‍රීඩාවෙහි නිරත වන්නා නරඹන්නා තමා දෙස බලා සිටිනා බව දන්නා අතර නරඹන්නා ද තමාගේ නැරඹීම පිළිබඳ ක්‍රීඩකයා දන්නා බව දනියි. එසේම ක්‍රීඩා පිටියට ගොස් තරග නරඹන ක්‍රීඩා ලෝලියා ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රූපවාහිනියෙන් තමා දෙස ද බලා සිටින බව උපකල්පනය කරයි. මෙකී සංකීර්ණ මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩාවේ නිරත වීම ප්‍රදර්ශනකාමය බවටත් ක්‍රීඩාව නැරඹීම නැරඹුම්කාමය බවටත් රූපාන්තරණය වී ඇත. ඉනුත් නොනැවතී නැරඹුම්කාමී නරඹන්නාට ප්‍රදර්ශනකාමී වීමට ද ඉඩක් සලසා දී ඇත. ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවාට අමතරව පිටිය තුළ තවත් බොහෝ දේ සිදු කරන්නේ එබැවිනි. උදාහරණ අවශ්‍යනම් පහත පින්තූර දෙස බැලිය හැක.
මේ ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරනු නරඹා ඇත්නම් ඉහත දැක්වෙන නිරූපනයන් ඔබ දැක ඇතුවාට සැක නැත.මෙවන් නිරූපනයන් හඳුන්වනුයේ Signature Moves යනුවෙනි. මේ නිරූපනයන් තනිකරම කැමරාව වෙනුවෙනි.
දැන් මේ නරඹන්නන් දෙස බලන්න. ඔවුන් මේ විදියට සැරසී ක්‍රිකට් තරග නරඹන්නට එන්නේ ඇයි. ජීවිතේ කිසිම දවසක ඔවුන් මේ අයරින් මහමගනම් ඇවිද නොයනවා ඇත. එසේම ක්‍රිකට් තරගයක් නරඹන අතරතුර තමා දෙසට කැමරාව යොමු වන සෑම මොහොතකම නරඹන්නන් උඩ පනිමින් කෑගස්නනේ ඇයි? ක්‍රිකට් විචාරකයන්නම් මෙය ක්‍රීඩාවේ චමත්කාරය ලෙස හඳුන්වනවා නොඅනුමානය. එහෙත් මින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය විසින් අප හට තනා දී ඇති අවකාශයේ විශාලත්වය මිස අන් කවරක්ද? ඒ මාධ්‍ය අවකාශයේ කැපී පෙනෙන හරඹකරුවකු වීමට අප තුළ නලියන ආශාව මිස අන් කවරක්ද?
ඉහත ලියන ලද සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රූපවාහිනි මාධ්‍ය මැදිහත් වී ඇති සියලු ක්‍රීඩාවන්ට පොදුය. පුළුල් අර්ථයෙන් ගතහොත් ක්‍රීඩා කිරීම, ක්‍රීඩා නැරඹීම පමණක් නොව අපගේ බොහෝ ක්‍රියාවන් මාධ්‍යමය මැදිහත් වීම නිසා නාට්‍යකරණය වී ඇත.
නැවත ලියන්නට සිදුව ඇත. කොතෙක් නොලියන්නට සිතුවද නැවත නැවත ලියන්නටම සිදු වෙයි. නොලියා ඉන්නට සිතෙන එක් ප්‍රධාන හේතුවකි. ලියන්නට ලියන්නට සිදු වන්නේ එයයි. එනම් උඩ ඉන්නා අය සඳට උපමා වී ලියන අප බල්ලන්ට උපමා වීමයි. බල්ලෝ බුරති. සඳ බබළයි. අන්තිමට අජිත් කුමාරසිරි ගීතයෙන් කිව්වා සේම කෙළවෙන්නේද අපටමය.
උඩ ඉන්නා අය දෙවිවරු කිව්වා
පහළ ඉන්න අය කළවම් වෙනවා
ජීවන වියදම දෙවිවරු සොයලා අහසට නැගුණා
අසල්වැසියො සමහර මගෙ යාළුවො පොළව යට ගියා
ඊයෙ මැයි 3වැනිදාය. එය ලෝකයේ විශේෂ දිනයක් බව බොහෝ දෙනා නොදන්නවා විය හැක. මැයි 1වැනිදා ගැනනම් හැමෝම දන්නේය. එය “ඇන්ටි මූන්” දිනයයි. ඊයේ එනම් මැයි 3වැනිදා යනු නිදහස් මාධ්‍ය උදෙසා වන ලෝක දිනයයි (World Press Freedom Day).   1991 එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී මැයි 3වැනිදා මෙලෙස නම් කරන ලදී. World Press Freedom Day 2011 වෙනුවෙන් සකසා ඇති වෙබ් අඩවියේ පළමු පිටුවේම ඝාතනය වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග පිළිබඳවද විශේෂ සටහනක් තබා ඇත. (http://wpfd2011.org/)    එහෙත් මෙරට කිසිදු ජාතික පුවත්පතක ලසන්ත ගැන, ප්‍රගීත් ගැන සහ තවත් මිය ගිය, අතුරුදහන් වූ, රට හැර ගිය මාධ්‍යවේදීන් ගැන තබා මාධ්‍ය නිදහස උදෙසා වූ ලෝක දිනය ගැනවත් කිසිදු සටහනක් තබා තිබුණේ නැත. ‘රාවය’ පුවත් පතේ නාලක ගුණවර්ධනගේ කොළමේ පමණක් මේ පිළිබඳ සටහන් කොට තිබිණි.
මෙය පැහැදිලිවම හිරිකිත තත්වයකි. සිය අයිතිවාසිකම් පිළිබඳ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ, මාධ්‍ය නිදහස පිළිබඳ කතා කිරීමට තබා මාධ්‍ය නිදහස උදෙසා ලෝක දිනයක් ඇති බව හෝ සටහන් කරන්නට කිසිම මාධ්‍යවේදියකුට කොන්දක් නැති විය. එක්සත් ජාතීන්ගේ මහලේකම්ට එරෙහිව රෙද්ද උස්සාගෙන නටන මේ මොහොතේ එක්සත් ජාතීන් විසින් නම් කළ දිනයක් පිළිබඳ ලියන්නට යෑම නිකං තියෙන පශ්චාත් භාගයේ ටිංකිරි උලාගැනීමක් ලෙස මේ නිවට බයාදු පත්තර කතුවරු සිතන්නට ඇත. නැත්තං දැන් අපේ රටේ මාධ්‍ය අවකාශය ෆුල්ම නිදහස් කියා හිතුවා වන්නටත් බැරි නැත. ආණ්ඩුවට කඩේ නොයන බොහෝ මාධ්‍යවේදීන් අතුරුදහන් කොට හෝ ඝාතනය කොට හෝ නිහඬ කොට හෝ මිල දී ගෙන හෝ ඇති නිසා දැන් ඉතින් මේ ලැජ්ජ නැති ලියන අප්පුලාට නිදහසේ ආණ්ඩුවට කඩේ යාමට හැකි වී තිබීමත් ලොකු නිදහසක් සේ දැනෙනවා ඇත.
අවසාන වශයෙන් මතකයට එන්නේ ඇම්ඩන්ගේ කතාවක අවසානයයි. මෙරටට ගැළපෙන්නට එයද මදක් වෙනස් කළ යුතුය.
ආණ්ඩුව ජනතාවට බිම දාගෙන පහර දෙද්දී ජනමාධය මර නින්දේ….!
රනිල් ඉන්නකම් යූ ඇන් පීයට දිනන්න බෑ කියා මුලින් ම කීවේ චන්ද්‍රිකාය. එය හිතටම ගෙන ඇත්තේ සජිත්ය. අද වන විට ආණ්ඩුවේ අය සේම යූ ඇන් පීයේ අයද සිතන්නේ රනිල් ඉන්නකම් දිනන්න බෑ කියාය. තමාගේ වාසියට යන්තම් හෝ හේතු වනවානම් කාගේ හෝ ලණුවක් ගිලදැමීමට ඇතැමුන් සූදානම්ය. අද පවතින සංවාදය සරලව විග්‍රහ කළොත් මෙසේය.
මහින්ද ඕනේ අයට රනිල් එපාය.
සජිත් ඕනේ අයට රනිල් එපාය.
මෙය සන්දර්භයන් දෙකකි. රනිල් එපා සියල්ලන්ටම සජිත් ඕනේ කියා හෝ රනිල් එපා සියල්ලන්ටම මහින්ද ඕනේ කියා හෝ මෙය වරනැගිය නොහැක. එහෙත් සජිත් සිතා සිටින්නේ රනිල් එපා හැමෝටම සජිත් ඕනේ කියාය. රනිල් එපා අයටත් මහින්ද එපා අයටත් ඕනෑ කරන පුද්ගලයා බවට පත්වන්නටනම් සජිත් මේ දෙදෙනාටම විකල්පව සිටගත යුතුය.
එසේ විකල්පව සිටගැනීමේ දේශපාලන භාවිතාවක් ගැන හිතාගැනීමට තරම් සජිත්ට දේශපාලන දැනුමක් හෝ අවබෝධයක් නැති බව ඔහු මේ වන විටත් ප්‍රදර්ශනය කොට ඇත. එනිසා ඔහු තෝරාගෙන ඇත්තේ යූ ඇන් පී රනිල් පැරදවීමට යූ ඇන් පී මහින්ද කෙනෙකු බවට පත් වීමේ ක්‍රමවේදයයි. අද දවසේ නැවත රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසන් තීරණය කුමක් වුවත් ඉන් සජිත්ට රනිල්ව පැරදවීමට හැකියැයි මොහොතකට උපකල්පනය කළත් අනාගතයේ සජිත්ට මහින්ද පරදවා ජයගැනීමටනම් නොහැකි බව පැහැදිලිව පෙනේ.
සජිත් සපුරාම මහින්දට සමානය. එනිසා මහින්ද එපා අයට සජිත්වත් එපාය. මහින්දව ඕනේ අයට මහින්ද ඉන්නේය. ඉතිං අන්තිමට සජිත්ව කාටත් එපාය.
තව දුරටත් උපකල්පන වලටම ඉඩ දී සජිත් මහින්දවත් පරදා ජයගනීවියැයි උපකල්පනය කළද ඉන් රට තුළ කිසිදු යහපත් වෙනසක් සිදු නොවන බවනම් සක්සුදක් සේ පැහැදිලිය.
මුස්ලිම් මූලධර්මවාදය ගැන අප අසා ඇත. චිරාත් කාලයක් තිස්සේ මේ මූලධර්මවාදී අදහස් නිසා ලොව පුරා ආගමික ගැටුම් උත්සන්න වූ බවද අපි දනිමු. ආගමික යුද්ධ ඇවිලී ජීවිත දහස් ගණන් ඊට බිලි වූ අයුරු අපි කියවා ඇත්තෙමු. මේ මූලධර්මවාදී කරුණු මුහම්මද්තුමා දේශනා කළාද, කුරානයේ සඳහන් වන්නේද යන්න අප දන්නේ නැත. ඒ කෙසේ වෙතත් ආගමික මූලධර්මවාදය අපට හිරිකිතය.
මුස්ලිමුන් පමණක් නොව ක්‍රිස්තියානින් ද ආගම මුල් කොටගත් ප්‍රශ්න උග්‍ර කිරීමට දායක වී ඇත. කුමන ආගම නියෝජනය කළත් අදහස් මූලධර්මවාදී නම් එය මානව සංහතියට සෙතක් සිදු නොකරයි. ඒය බෞද්ධයාටත් පොදුය.
අප දන්නා බෞද්ධ දර්ශනයට අනුව නම් කිසිදු ආගමක් හෙළාදැකීම අනුමත නොකරයි. ගෞතම බුදුන්වහන්සේ දේශනා කොට ඇත්තේ සර්ව ආගමික සහජීවනයයි. බුද්ධ කාලීන භාරතයේ ජෛන මහා වීර වැන්නවුන්ද රාජ්‍ය අනුග්‍රහය ලබමින් ධර්ම ප්‍රචාරණයේ යෙදුණු බව අප කියවා ඇත්තෙමු. බුදුන් වහන්සේ බරණැස් රජු හෝ කොසොල් රජු පොළඹවාගෙන මහාවීරගේ ජෛන ආගම ප්‍රචාරය කිරීම වැළැක්වීමට උත්සහ කළ බවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් නොවේ. එවක ප්‍රචලිතව පැවති දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් හි එල්බගත්තවුන් බුදුන්ට එළව එළවා පහර දෙද් දී ඊට දාර්ශනිකව මුහුණ දුන්නා විනා අනුගාමිකයන් ලවා පහර දීමට හෝ රජවරුන් ලවා එම මිථ්‍යා දෘෂ්ටිකයන් අඩපණ කිරීමට උන්වහන්සේ කටයුතු නොකළ සේක.
අද ද බුදු දහමට එරෙහි තර්ජනයක් මුස්ලිමුන්ගෙන් හෝ වෙනත් කිසිවකුගෙන් එල්ල වන්නේ නම් බෞද්ධයන්ගේ කාර්යය විය යුත්තේ ඊට ප්‍රතිපදාවෙන් පිළිතුරු දීම විනා හපා කෑමට පැනීම නොවේ. ගෞතම බුදු සමයේ දී ජටිල ආජීවක පරිබ්‍රාජක ආදීන්ගෙන් එල්ල වූ තර්ජනයන් දහමෙහි නිර්මලතාවය සහ ශීලයේ උසස් භාවය නිසා ජයගත් බව අප කියවා ඇත්තෙමු. අද දවසේ සසුනට එල්ල වන තර්ජනයන් ජයගැනීමට වෙනත් කූට මූලධර්මවාදී උපක්‍රම භාවිතා කරන විට අපට පසක් වන්නේ අද වන විට දහමේ නිර්මලත්වය සේම ශීලයේ උසස්භාවය කෙළසාගෙන ඇති බැවින් මේ ආකාරයේ වියරු ප්‍රතිචාර දක්වන බවයි. මූලධර්මවාදයට එරෙහිව මූලධර්මවාදීව අශික්ෂිත සටනකට එළඹීම බුදුන් වැඩ සිටියානම් කෙසේවත් අනුමත නොකරනු ඇත. අන්‍යාගම් හෙළාදකිමින් අන්‍යාගමිකයන්ට එරෙහිව අවි අමෝරාගන්නේ මුස්ලිමුන් වුවත් ක්‍රිස්තියානින් වුවත් බෞද්ධයන් වුවත් එය පිළිකුල්සහගතය.
අනෙක් අතට අන්‍යාගමිකකරණයට එරෙහි පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් පන්සල මූලික කරගත් දේශපාලන රටාවකට උඩගෙඩිදෙමින් අප අපේ රට ගෙන යන්නේ පැරණි බටහිර සමාජයේ පැවති පීඩාකාරී පල්ලියේ පාලන ආකෘතියටම නොවේද? පල්ලිය විසින් ලෝකය පැතලි බව කියද් දී ගැලීලියෝ ලෝකය රවුම් බව කීමේ විපාකය වූයේ පල්ලිය විසින් ගැලීලියෝට වස දීමයි. පල්ලියේ දැක්මට එරෙහි වූ ජෝන් හස් වැන්නන්ව පුළුස්සා මරා දැමූ බව අප කියවා ඇත්තෙමු. අප අනෙක් සියලු ආගම් වලට එරෙහි වෙමින්, අන්‍යාගමිකයන් දේශද්‍රෝහීන් ලෙස ලේබල් කරමින් ගොඩනංවන පන්සල අතීත පල්ලියට සමරූපි නොවේවා යන්න අපේ පැතුමයි.
බුදුන් වහන්සේගේ දර්ශනය අනුව ඇති වන සියල්ල නැතිවනසුලුය. උන්වහන්සේ ද ඉපිද පැවත නැතිව ගියේය. ඉදින් උන්වහන්සේගේ ධර්මය ද ශාසනය ද ඉපිද පැවත නැතිව යනු ඇත. උන්වහන්සේගේ ධර්මය ට අනුව ලෝක ස්වභාවය එයයි.
එහෙත් වර්තමානයේ දී මේ බෞද්ධ මූලධර්මවාදීන් උත්සහ කරන්නේ ශාසනය සදාකාලික කරගනිමින් උන්වහන්සේගේ ධර්මය බොරු කරන්නටදැයි අපට සැකයක් ඇති වේ. බුදු දහමේ නාමයෙන් අද දවසේ සිදුවන දෑ දෙස බැලීමේදී ගෞතම බුදුන්ට පසුව දේවදත්ත බුදු වී බුදු බණ විකෘති කළාද යන පැනයද සාධාරණව සිතට නැගේ.
අවසාන වශයෙන් හෙට අනිද්දා කාලය දීපය දේශය වරදවාගෙන හෝ මෛත්‍රි බුදුන් වහන්සේ මෙරට පහළ වුවහොත් උන්වහන්සේට ද දේශද්‍රෝහී ලේබලය ඇලවීමට සිදු වනු ඇත. අප අනුදකින බුදු දහමත් උන්වහන්සේ වදාරණ බුදු දහමත් දෙකක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවිනි.
මේ දවස් වල හෙන ඡන්ද උණුසුමය. ඒ උණුසුම ඇත්තේ ටීවි එකේත් තාප්ප වලත් කටවුට් වලත්ය. මිනිස්සුන්ට මේක ඒ හැටි ගාණක් ඇති වැඩක් වාගේ පේන්නේ නැත. තමංගේ ගමට පුංචි ආණ්ඩුව පත් කරගන්නට මිනිස්සුන්ට නැති තරමේ උනන්දුවක් ආණ්ඩුවට සහ අනෙකුත් දේශපාලන පක්ෂ වලට තිබීමෙන් පෙනී යන්නේ ජනතාවට මේ හැමෝවම එපා වී ඇති තරමය. සියලු දේශපාලන පක්ෂ කුජීත වී ඇති තරමය.
ආණ්ඩුව මේ දවස් වල කියන්නේ මාර කතාවකි. ජනාධිපති බල තලත්ආණ්ඩු බලයත් පළාත් සභා බලයත් ඔවුන් සතු නිසා ප්‍රාදේශීය සභා වල බලයත් ඔවුන්ටම දෙන්නැයි ඔවුහු කියති. එසේ නොවන ප්‍රාදේශීය සබා නඩත්තු කිරීමට ආණ්ඩුව මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවද ලැජ්ජා නැතිව ප්‍රසිද්ධියේම පවසති. පළාත් පාලන ඇමතිවරයා පසුගිය දිනෙක රැස්වීමක දී ප්‍රකාශ කළේ දුප්පත් ගම්මාන වල ප්‍රාදේශීය සභා නඩත්තු කිරීමට හා පඩි නඩි ගෙවීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් මුදල් එවන බවත් බැරි වෙලාවත් තමුන්නාන්සේලා විපක්ෂය ජයග්‍රහණය කරවූවොතින් ඔවුන්ගේ පඩි නඩිත් තමුන්නාන්සේලාටම ගෙවීමට සිදු වන බවත්ය. පුදුම තර්කයකි. ඉතිං එහෙනම් ඡන්දය තියන්නේ මොන බම්බුවටදැයි අපට සිතේ. සේරම ඒගොල්ලන්ගේ නිසා අනික්වත් දෙන්න ඕනෑ නම් ඡන්දය තියන්න වියදම් කරන සල්ලිත් අපරාදේ නොවැ.
අවධානයට ගත යුතු අනෙක් කරුණ වන්නේ මේ ගොන් තර්කය සනාථ කරවන්නට කරළියට එවන්නේ ‘මාල කැඩූ මන්ත්‍රී තුමා’, ‘පංචායුධ’ වැනි වාචාලයන් මිස වැදගත් පෞරුෂයක් ඇති අය නොවන බවයි.(එවැන්නන් සිටිනවාදැයි දන්නේ නැත.) මේ කතාව හරියට තමන්ගේ කැමැත්තට පිටින් කසාද බඳිනවානම් ගේ දොර ඉඩකඩම් මිල මුදල් ආදියෙන් සතයක්වත් ලබා නොදෙන බවට සිය දියණියට තර්ජනය කරන වයසක පියෙකුගේ භූමිකාව සිහිගන්වයි. පියා එසේ කරනුයේ දුවණියට ඇති ආදරය නිසා යැයි ගොන් කතාවක් දැන් කාට හරි කොමෙන්ටුවක් හැටියට දැමිය හැක. රටක් පාලනය කිරීමයි පවුල්කෑමයි එකක් වීම මේ රටේ දැවෙන ප්‍රශ්නයක් බව ඒ අයට කලින්ම මතක් කර දෙමි.
යූ ඇන් පීය තමන්ගේ නායකයා කව්දැයි හරි හැටි හොයාගැනීමට නොහැකිව ඇති නිසා කරු ජයසූරියව පෙරමුණේ තබා‍ගෙන මෙම ඡන්දයට මුහුණ දෙන්නට සූදානම් වන බව පෙනේ. මෙවර ඡන්දයේදී විපක්ෂයට ඡන්දය පාවිච්චි කිරීමෙන් ආණ්ඩුව බය කොට එහි වැරදි සාදාගැනීම පිණිස ආණ්ඩුවට බල කළ හැකි බව ඒ අයගේ අදහසයි. එයනම් මරුය. යූ එන් පීය සෙට් වෙන්නේ ආණ්ඩුවට ‘හප්’ කියන්නටය. එවිට ආණ්ඩුවට කලිසමේ චූ යනු ඇත. ඉන්පසු නැවත වැරදි නොකර ආණ්ඩුව හොඳ බබෙකු වනු ඇත. කරු හා රවී නිතර කියන්නේ මේ ඡන්දයේ දී ආණ්ඩුව පෙරළීමට නොහැකි වුවත් ආණ්ඩුව හෙළවීමට හැකි බවය. එසේ ආණ්ඩුව හොල්ලා නුදුරු අනාගතයේ ආණ්ඩුව ගෙදර යවන සටනේ පළමු වෙඩිමුරය මෙය බවය. අපට මතක විදියට මේ දහ අටවැනි ‘පළමු වෙඩි මුරය’ විය යුතුය. සජිත් නම් කතා කරන්නේ ප්‍රාදේශීය සභා ඡන්දය දින්න ගමන් ප්‍රේමදාස යුගයක් බිහි කරන්නටය. කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද? කොහොමටත් සජිත් සිතා සිටින්නේ රටක් පාලනය කරන්නට ඔය මහන මැෂින් කිහිපයක් කැති උදලු ටිකක් හා හේනක් දෙකක් තිබුණාම ඇති කියාය. ඒ අතින් බැලුවහම එයා හරියන්නේ හම්බන්තොටටත් එහා ගංගොඩකටය.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර සටනට බැස ඇත්තේ රැවටිල්ල නිමා කරන්නටය. ඒත් මේ ඉවර කරන්නට යන්නේ කවුරු කාව රවට්ටන එකදැයි පැහැදිලි නැත. ජෙප්පන්ද වරින් වර ධනපති පක්ෂ වලට රැවටෙනු අපි දැක ඇත්තෙමු. ඔවුන් මේ නවත්තන්න හදන්නේ ඒකද? ඇතැම් විට ධනපති පක්ෂ දිනවන්නට ජෙප්පන්ද හරි හරියට එකතු වී ජනතාව රැවටූ හැටිද අපි දැක්කෙමු. මේ නවත්තන්න යන්නේ ඒකද? ඇතැම් වාචාලයන්ව ඕනාවට වඩා ෆෝම් කොට ඔවුන් අතින් ජෙප්පන් රැවටෙන හැටිද අපි දැක්කෙමු. මේ අරඅඳින්නේ ඒක නිමා කරන්නටද? ඒ වගේම සමානුපාත ඡන්ද ක්‍රමයේ පිහිටෙන් වැඩි පාර්ලිමේන්තු ආසන ගණනක් ලබාගත් ජෙප්පන් එයින් තමාම තමාට රැවටෙන ආකාරයක් ද අපි දැක්කෙමු. ඉතිං අපිට පැනයක් නැගේය. මේ රැවටිල්ල නවත්තන්නට යන්නේ කාව රවට්ටලාද?
ඊයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹමින් සිටියෙමි. හදිසියේම මගේ ඇස් උඩ යන ආකාරයේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය විය. වසර 2500ක් තිස්සේ භක්ත්‍යාදරයෙන් රැකගත් බෞද්ධ උරුමයට කෙළවන්නම හැදූ ඇඩ් එකක් වාගේය. හැබැයි මේ වෙළඳ දැන්වීම මෙරට නාලිකාවක නම් ප්‍රචාරය කිරීමට කොහෙත්ම ඉඩක් නැත. අපේ රජයේ හා පෞද්ගලික නාලිකා ඒ තරං සිරාය. මම ඊයේ තරගය නරඹමින් සිටයේ ඉන්දියානු නාලිකාවකිනි.
ඉහත කී දැන්වීම නිර්මාණය කොට තිබුණේ හීරෝ හොන්ඩා ආයතනය වෙනුවෙනි. ඒ දැන්වීමට අනුව හිමාලය කන්ද විකට්ටුවට අරගෙන මුහද හතරේ සීමාවට අරගෙන ක්‍රිකට් ගහන්න තරං ඉන්දියාවේ ක්‍රිකට් බරපතළය. ඇත්තටම ඒකෙන් අපට වැඩකුත් නැත. වැඩේ තියෙන්නේ එකම එක රූප රාමුවකය. හිමාලය පසුබිමින් පෙනෙන, සුදු හිමෙන් වැසුණු කඳු මුදුනක සිට තමන් වෙත එන පන්දුවකට වැරෙන් පහරක් එල්ල කරන්නේ වයස අවුරුදු දහයක දොළහක පමණ හාමුදුරු නමකි.
“අඩෝ…. තොපි ක්‍රිකට් බැරිනං ඕන බම්බුවක් ගහගත්තට අපිට කමක් නෑ යකෝ. අපි හතර පෝයටම සිල් රකින උපාසක අම්මලාගෙන් උපාසක බාප්පලාගෙන් පිරුණු ජාතියක් හරි…. ‍අපි පන්සිල් රකින බෞද්ධයො. තොපි අපේ ආගමට අත තියන්න ආවොත් කැවුතු කනවා යකෝ. තොපි එකා එකා බාවනවා දැනගනියව්.”
ගේම ඉල්ලන්නට නිමිත්තක් පහළ වෙලාය. දැන් වීරයෙකුට වේකන්සියක් ඇති වී ඇත. මේ චාන්ස් එක ගන්නේ කව්දැයි අපි බලා සිටිමු. එදා අනගාරික ධර්මපාල “සිංහලයිනි නැගිටිව්. බුද්ධගයාව බේරාගනිව්” කියලා, අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙමින් ආ බලවේගය වෙනත් පාරක හරවා යැව්වා සේ අද ද වෙනත් කාරණා වලට එරෙහිව නැගෙන විරෝධය තාවකාලිකව ගොලෑවේ යවා හීන කර දමන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගතහැක.
වීරවංශ අමති තුමනි, මෙරට හීරෝ හොන්ඩා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කොට දවසින් පණ අදින්නට පටන් ගෙන මේ කුමන්ත්‍රණකරුවන්ට පාඩමක් උගන්වනු මැනවි. එවිට මහරජතුමාටද මේ සීන් එකට හොට දාන්නට අවස්ථාව සැලසේ. එතුමාට අවශ්‍යයැයි හිතුනොත් මේ පිළිබඳ කටයුතු කරන්නට කොමිටි කිහිපයක් හා පොලිස් කණඩායම් කිහිපයක් ද පත් කළ හැකිය. තවත් ගැඹුරට යන්නේනම් මේ පරීක්ෂණ අධීක්ෂණය කරන්නට ආධුනික මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු පත් කොට ඔවුන්ට කෝටි දෙක තුනේ පොඩිපහේ ජීප් ගෙන්වා දෙන්නැයි ද අපි ඉල්ලා සිටිමු.එවිට මේ පරීක්ෂණ කඩිනම් හා විධිමත් වනවා ඇත.
රතන සාදුටයි චම්පිකටයි අපි කියා සිටින්නේ ධර්ම සංඝායනාවක් පවත්වා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි දුසිල් මහණාව වහාම උපැවිදි කරන්නැයි ඉන්දියාවට බල කරන ලෙසයි. ඒ වගේම ඒ සංඝායනාව ඉන්දියාවේ පමණක් පවත්වනවානම් හොඳ බව ද අපි මතක් කරන්නෙමු. නැත්තං කාගේ කාගේ සිවුරු ගැලවේදැයි අපට වගකිව නොහැකි බැවිනි.
කුමන්ත්‍රණකාර ඉන්දියාවෙන් බුද්ධාගම බේරා දෙන ලෙස ඉල්ලා ගාමිණි ආනන්දගේ අම්මාට (කාලි අම්මාට) කන්නලව් කොට පොල් ගැසීමේ ව්‍යාපෘතියක් දියත් කරන්නැයි අපි ඊ ඒ පී සෝමා අම්මාගෙන් ඉල්ලා සිටිමු.
පරණ ඉන්දියානු විරෝධයෙන් ඔද වැඩී, හීරෝ හොන්ඩා මෝටර් සයිකල් ඇතුළු ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙස අපි සෝමවංශ අයියාට කියමු. මේ මගින් ලැජ්ජාව පසෙක තබා පංචායුධ සමග එකම වේදිකාවට නැග මේ සියල්ල රට ජාතිය වෙනුවෙනැයි බෙරිහන් දෙන්නට ද අවස්ථාවක් උදා වනු ඇත.
සජිත් ප්‍රෙමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමි වී තිබුණානම් මෙවැන්නක් සිදු වෙන්නට ඔහු කෙසේවත් ඉඩ නොතබන බැවින් ඉන්දියාවෙන් බුද්ධාගම බේරාගැනීම පිණිස සජිත් ට නායකත්වය දී ගෙදර යන්නැයි රනිල් ට බල කරන ලෙස අපි දයාසිරි අයියාගෙන් සහ රෝසි අක්කාගෙන ඉල්ලා සිටිමු.
අපි ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනා කරන්නේ, ඉන්දියාවට එහෙම කරන්න හොඳනම් අපි මෙහෙම කළාම මොකදැයි කියා තහනම් වූ ලහිරුගේ ක්‍රිකට් ගීතය නැවත ප්‍රචාරය කරන ලෙසය.
මේ කුමන්ත්‍රණයට සම්බන්ධයැයි සැක හිතෙන සියලු ධිවරයින් අත් අඩංගුවට ගන්නා සලස අපි නාවුක හමුදාවට මතක් කර සිටිමු. විදේශ අමාත්‍යංශය වශයෙන් අපි මේ ගැන තදින් ක්‍රියා කරන බවට ප්‍රකාශයක් කරන්නැයි අපි ජී එල්ගෙන්ද ඉල්ලා සිටිමු.
අපේ ජනතාවට අප මතක් කර සිටින්නේ අවශ්‍ය වුවහොත් ඉන්දියානු තානාපති කාර්යාලය වටලන්නට සූදානමින් සිටින ලෙසයි.
උතුර, නැගෙනහිර, උතුරු මැද කියන පළාත් වල ගංවතුර ගලලා තියෙන්නේ කාලි මෑණියෝ කෝප වෙලා කියලා ගාමිණි ආනන්ද ද කව්ද පචයෙක් ලංකාදීප දිවයින වගේ පත්තර වල ඇඩ් දානවා.  ලූනු බිකත් බඩටනේ කියලා හිතන පත්තර අයිති කාරයොත් ඔන පචයක් පත්තරේ දාලා සල්ලි ගන්නවා.
අනික් අතට ඔය හුඟක් පත්තර වල දේශපාලන ලිපි කියලා ලියන්නෙත් පච වර්ණනානෙ. ඊයේ පෙරේදා ඇට මැස්සගේ අඩවියේ දිවයිනෙන් උපුටලා පළ කරලා තිබුණ ලිපිය දැක්කම ඇඟ හිරි වැටෙනවා. බැරි වෙලාවත් මහ රජතුමා දැන් වයස නිසා ඉස්සර ඇඳ උඩ කරපු සෙල්ලම් දැන් බෑ කියලා කටකතාවක් පැතිරුණොත් ඔය සුමනසේකරයා රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවට එබිලා සිංහල බෞද්ධ කාම සූත්‍රයක් ලියනවා ෂුවර් එකටම.
ඒවා එහෙම තියෙද්දි මේ මංගල සමරවීර ඊයේ කියපු කතාව මොකද්ද කියලා බලමුකෝ. එයත් කියනවනේ මේ ගංවතුර ගලලා තියෙන්නේ දේව සාපයක් නිසා කියලා. එයා කියන්නෙත් නෙත් එෆ් එම් එකෙනුයි ලංකා පත්තරේනුයි ගාමිණි ආනන්දට එරෙහිව ගෙනියන ප්‍රචාරක ව්‍යාපාරය හින්දා කාලි මෑණියෝ කෝප වුණා කියන සීන් එකමද?
ඒ කියන්නේ දැං මංගල කපුවන්ට කඩේ යනවද?
නැත්තං මංගල කියන්නේ වෙනත් හේතුවකට ඔරොප්පු වූ වෙනත් දෙවියෙක් ගැනද?
අපේ රටේ දේශපාලනයට කෙළවී ඇති කෙළවිල්ල ගැන මාර දුකක් උපදිනවා නේද මේව දැක්කම. දේශපාලනය කියන්නෙම න්‍යායාත්මක හා ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරකම් හරහා ක්‍රමය වෙනස් කිරීමයි කියලා කියන ඈයන්ට මං හිතන්නේ පිස්සු. නැත්තං මුන්ට පිස්සු. මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න මිනිස්සුන්ගේ ශක්තිය එකතු කරන්නේ නැතුව දේව කෝප ගැන කිය කියා මිනිස්සුන්ට ලණු දීලා දෙයියොම මේක වෙනස් කරලා දෙයි කියලා බෙලහීන බලාපොරොත්තුවක් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ ඇති කරනවා.
මිනිස්සුන්ව ආලෝකය දෙසට රැගෙන යාමේ දේශපාලනයක් තමන්ට කරන්න බැරිනම් අඩුම ගණනේ මිනිස්සුන්ව අඳුරට දක්කන ගොන් කතා කීමෙන් වැළකී සිටීමටවත් මේ ඇත්තන් උනන්දු වන්නේනම් හොඳය.
අනික් අතට ටියුනීසියාවේ ඊජිප්තුවේ ඒකාධිපති දුෂ්ට පාලකයන් පන්නා දැම්මේ කෝප වූ දෙවියන් විසින් නොව නැගී සිටි මිනිසුන් විසින් බව අප මතක තබාගත යුතුය.